ආණ්ඩුවෙන් උපායක්..! සහයට මධ්‍යස්ථ මන්ත්‍රීවරු
පසුගිය සතියත් පාර්ලිමේන්තුව පැවැත්වෙන සතියක් විය. රටේ පොදු ප්‍රවාහය තුළ පසුගිය කාලය මුළුල්ලේම පැවති උද්ඝෝෂණ රැල්ල මේ සතියෙත් එලෙසම පැවතිණි. පෙරටුගාමී පක්ෂයේ මෙහෙයවීමෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළින් ශිෂ්‍ය අරගල මෙහෙයවමින් විරෝධය පෑවේ අධ්‍යාපනයේ යම් සාධනීය වෙනසක් හෝ ප්‍රගතියක් පිණිස නොව, පුංචි ඡන්දය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කිරීම පිණිසය.
ජනතා විමුක්ති පෙරමුණේ හා සමගි ජනබලවේගයේ වෘත්තිය සමිතිවල අරමුණු ඊටත් වඩා පුළුල් වූහ. ඔවුන් එක් පැත්තකින් පුංචි ඡන්දය ඉල්ලා සිටියහ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි සටන් වැදුනහ. අනිත් පැත්තෙන් රජයේ ඉහළ රැකියා කරමින් ලක්ෂ ගණනින් වැඩි පඩි ලබන වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ගණකාධිකාරිවරුන් බැංකු සේවකයන්, වරාය සේවකයන් හා සීමිත සංස්ථා ගණනක සේවකයන්ගේ ඉහළ වැටුප්වලින් බදු අය කිරීමේ නව වැඩපිළිවෙළට විරුද්ධත්වය පෑහ. ශිෂ්‍ය සටන් හා වෘත්තීය සටන් නිසා කොළඹ පරිසරය තරමක් උණුසුම්ව තිබුණේ පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ ඒවාට එරෙහිව ගෙනගිය ආරක්ෂක වැඩපිළිවෙළ නිසාය.
කෙසේ වෙතත් මේ කිසිවක වගේ වගක් නැතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ වැඩ කටයුතු කරගෙන ගියේය. සැබැවින්ම ඔහු වැඩ කළේ ඔහුට ආවේණික වෙනම න්‍යාය පත්‍රයකට ය.
ජනපති කැමතිම
කාන්තාවෝ තිදෙනෙක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ විශේෂ අවධානය යොමු කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනුවේ වැඩකටයුතු කෙරෙහිය. ඔහු මේ සම්බන්ධයෙන් නිරතුරුවම මිත්‍ර පාර්ශ්වයේ රටවලට හා ජාත්‍යන්තර අරමුදලේ ප්‍රධානීන්ට කතා කරමින් තොරතුරු විමසමින් සිටියේය.
ඒ අනුව පසුගිය සඳුදා ඔහුට විශේෂ දුරකථන ඇමතුමක් ලැබිණි. ඇමතුම ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මියගෙන්ය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කරමින් ජනාධිපතිවරයාට සුබ පැතුවාය. දිගින් දිගටම ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් ඇමෙරිකාව කටයුතු කරන බව ඕ කීවාය.
මේ සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්තිනා ජෝර්ජිවා මහත්මියද තාක්ෂණය ඔස්සේ කතා කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබිණි. ඇයගේ සුභවාදී ප්‍රතිචාරය ජනාධිපතිවරයාට රට සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් එකක් විය. ඩොලර් බිලියන 2.9 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල තවමත් අනුමත නොවීමට හේතුව චීන ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ එකඟතාවය බව ඒ වන විට සියල්ලෝම දැන ගෙන සිටියහ. අවසානයේ චීනය එක්සිම් බැංකුව මගින් ඒ සඳහා තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි යන ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ රජයට දැනුම් දී තිබූ අතර ජනාධිපතිවරයා ඒ පණිවිඩය සඳුදා රාත්‍රියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලද ලිඛිතව දැනුම් දෙන්නට ක්‍රියා කළේය. ඒ අනුව වසරක පමණ කාලයක් ඇවෑමෙන් කරගෙන ආ ලොකු ක්‍රියාන්විතයක් ජය ගන්නට ජනාධිපතිවරයාට හා ලක් රජයට හැකියාව ලැබුණේ පසුගිය සති අන්තයේ ය.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ උත්සව ගණනාවක් රටේ විවිධ ආයතන මුල්කරගෙන පැවති අතර කාන්තා ඇමැතිනී ගීතා කුමාරසිංහ මැතිණිය විසින් සංවිධානය කළ විශේෂ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේ පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබුණි. ජනාධිපතිවරයා මේ සඳහා ආරාධනය සතුටින් පිළිගෙන පැමිණ සිටියේය. එදින කාන්තාවන් වෙනුවෙන් විශේෂ සමරු දේශනය කරන්නට ආරාධනා කර තිබුණේ ද ජනාධිපතිවරයාටය. ඔහු එහිදී කාන්තාවන් ඇගයීමට ලක් කළේ සුපුරුදු සම්ප්‍රදායෙන් බැහැර වූ ආකෘතියක ය. එහි පූර්විකාව මෙසේය.
“අපේ රට ආර්ථිකමය වශයෙන් පහුගිය දවස්වල බරපතළ පිරිහීමකට ලක් වුණා. විවිධ අය ඒකට අරගොල්ලා වගකියන්න ඕනය මේගොල්ල වගකියන්න ඕනය කියලා යම් යම් පාර්ශ්වවලට චෝදනා නඟනවා. ඇත්ත වශයෙන්ම මේ අර්බුදයට වගකියන්න ඕන අයගේ ලැයිස්තුවක් මම හදලා බැලුවා. හැබැයි ඒ ලැයිස්තුව මුල ඉඳලා අගට කිසිම තැනක කාන්තාවෝ නෑ…
ඒ වුණාට විපතට පත්වෙච්ච මේ රට යළි ගොඩනඟන ක්‍රියාවලියේ මුදුනේම ඉන්නේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් තුන්දෙනෙක්. එක් කෙනෙක් තමයි ඉන්දියාවේ මුදල් ඇමැතිනිය. එතුමිය තමයි මම අගමැති වුණ වෙලාවේ වැටිලා තිබුණු මේ රට නඟාහිටුවන්න නිර්භය තීන්දුවක් අරගෙන ඩොලර් මිලියන තුනක් ලංකාවට ලබා දෙන්න ඉන්දියානු ආණ්ඩුව කැමති කරවා ගත්තේ. දෙවනුව මේ රටට උදව් කරන්න ඇමෙරිකානු පාර්ශ්වය නියෝජනය කළේ ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මැතිනිය. තුන්වෙනි එක්කෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජියේවා මහත්මිය. මේ අසීරු අවස්ථාවේ රට ශක්තිමත් කරන්න මහන්සි වුණු තුන්දෙනාම කාන්තාවන්…”
ඒ අනුව එහිදී රනිල් කළ කතාව බොහෝ දෙනකුගේ විශේෂ අවධානයට හා ගරු බුහුමනට පාත්‍ර විය.
පුංචි ඡන්දයට ආ යුක්තියේ කොළ එළි..!
පසුගිය සතිය වන විට අපේ රටේ වඩාත්ම කතාබහට ලක්වූ රාජ්‍ය නිලධාරියා වන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හෙවත් මුදල් ලේකම්වරයාය. ඔහුට විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මෙන්ම විවිධ සංවිධානවලින් ද එල්ල වූ බලපෑම සුළුපටු එකක් වූයේ නැත. ඊට හේතුව මැතිවරණය සඳහා අවශ්‍ය වන මුදල නොදීමට ඔහු ඉදිරිපත් කළා යැයි කියන චක්‍රලේඛය යි.
ඔහුගේ චක්‍රලේඛයට එරෙහිව සමගි ජනබලවේගය එම චක්‍රලේඛය ආපසු කැඳවන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබූ අතර එම නඩුවේ තීන්දුව මේ පසුගිය සතියට පෙර සතියේ ලබාදී තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය එම චක්‍රලේකය අභියෝගයට ලක් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මහජන ඡන්ද අයිතිය සුරැකීමට වස් මැතිවරණය සඳහා අදාළ මුදල ලබාදීම වළකන ලද චක්‍රලේඛය නැවත කැඳවන්නැයි කියා නියෝගයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මැතිවරණ කොමසාරිස්වරයාට හා මැතිවරණ කොමිසමට එල්ල වූ පීඩනය සුළුපටු නොවීය. වහාම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසම ඉදිරියට ගෙන්වා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් සපයා දෙන්නට බලකර සිටින්නැයි දේශපාලන පක්ෂ කොමිසමෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම් කොමිසම ඉදිරියට ගෙන්වන්නට තීන්දු කළේය. ඉකුත් 7 වැනි අඟහරුවාදා සඳහා දින නියම කළ කොමිසම පැමිණිලිකාර දේශපාලන පක්ෂ ඇතුළු සියලු පක්ෂවල නියෝජිතයන්ට ද මැතිවරණයට අදාළව අදාළ රාජකාරිවල නිරතවන මැතිවරණ දෙපාර්තමේන්තුවේ පොලිසියේ හා රාජ්‍ය මුද්‍රණාලයේ වගකිවයුත්තන්ට මෙම රැස්වීමට එන ලෙස දන්වා තිබුණි.
මේ සඳහා දේශපාලන පක්ෂ ඇතුළු අනෙක් පාර්ශ්වයන් කියන්න පැමිණ සිටියත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් අදාළ රැස්වීම සඳහා සහභාගි වී සිටියේ නැත. ඒ වෙනකොට ඔහු දන්වා තිබුණේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ කමිටු රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන බැවින් ඒ වෙලාවට වෙනත් රැස්වීමකට සහභාගි වීම අපහසු බවකි.
අදාළම පුද්ගලයා නොමැතිව මැතිවරණ කොමිසමේ සහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම රැස්වනු ලැබූහ. මැතිවරණය සඳහා ඊළඟට අදාළ දිනයක් තීරණය කර ගැනීමේ ප්‍රශ්නයක් ද විය. තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ද කතාබහක් ඇති විය. මාර්තු මාසේ අවසාන සතියේ දිනක තැපැල් ඡන්දයත් අප්‍රේල් මාසයේ අවසාන සතියේ දිනක අදාළ ඡන්දයත් පැවැත්වීමට එහිදී සාකච්ඡාවක් ඇති වූහ. කොමිසම පෙන්වා දුන්නේ අප්‍රේල් මාසයේ 25 වැනිදා ඡන්දය පැවැත්වීම සඳහා දින නියම කිරීමට හැකියාවක් ඇති බවකි. ඒ පැත්තෙන් එම සාකච්ඡාව ප්‍රගතියකින් යුතුව අවසන් කෙරිණි. ඒත් එම රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ නොසිටීම ගැන මහ විශාල ආන්දෝලනයක් දේශපාලනඥයන් අතර මෙන්ම මාධ්‍ය අතර ද ඒ වන විට පැන නැඟිණි. විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ සාකච්ඡාව මගහැරියේ යැයි කියමින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය දැඩි සේ විවේචනයට ලක් කළහ.
අප්පච්චි බලන්නට
පුතාලා නෑගම් ඇවිත්…
පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ නියෝජිතයෝ රැසක් විජයරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ නිවසට ගියේ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාව සඳහාය. පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරු දිස්ත්‍රික් නායකයෝ හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන්ට මේ සඳහා ඇරයුම් කර තිබිණි. එහෙත් අපේක්ෂා කළ ප්‍රමාණයේ සෙනඟක් පැමිණියේ නැත. නාමල් රාජපක්ෂ පැමිණෙද්දී මාධ්‍යවලින් මේ හමුව මොකක් දැයි විමසූ විට ඔහු කීවේ තාත්තා බලලා යන්න ආවා කියාය…
කෙසේ වෙතත් එදින සාකච්ඡාවට මාතෘකා වූ කාරණා දෙකක් තිබිණි. බැසිල් රාජපක්ෂ ඒ පිළිබඳ විස්තර කරමින් මුලින්ම කතා කළේ මැයි දින උත්සවය ගැනයි.
“අපි දැනට මැතිවරණය සම්බන්ධයෙන් මුකුත් කරන්නෙත් නෑ. මිනිස්සු අපි ගැන කලකිරිලා කියන මතය සැබෑ එකක් නෙවෙයි. ඒක කෘතිමව හදපු මතයක්. ඒක නැති කරන්න නම් මැයි රැලියක් වගේ ලොකු දැවැන්ත වැඩක් කරන්න වෙනවා…” මහින්දානන්ද පවසද්දී ඊට අලගු තබමින් කතා කළේ සරත් වීරසේකර යි.
“ඒක ඇත්ත … රාජපක්ෂවරුන්ට අපිට මේ රටේ පිළිගැනීමක් නෑ, තැනක් නෑ කියලා මතයක් විපක්ෂය විසින් කාලයක් තිස්සේ සමාජගත කළා. ඇත්තටම එහෙම දෙයක් සමාජයේ මිනිස්සු අතර කතා වෙනවා. හැබැයි මම ගිහින් මිනිස්සුත් එක්ක කතා කරනකොට ඒක බලෙන් ඇති කරපු අදහසක් බව පැහැදිලි වුණා. එහෙම දෙයක් මිනිස්සු අතර නෑ. හැබැයි අපි මිනිස්සු අතරට යන්න ඕන. නැත්තම් අර බලෙන් හදාපු මතය තහවුරු වෙනවා…”
“ඒකට හොඳම අවස්ථාව තමයි මැයි දිනය. අපි අපේ සංවිධාන ශක්තිය රටට පෙන්වන්නත් එක්ක දැවැන්ත මැයි රැලියක් කරමු හැම ආසනයෙන්ම සෙනඟ ගෙනල්ලා…” මහින්දානන්ද ගේ අදහසට මහින්ද රාජපක්ෂ කැමැත්ත පළ කළේය.
ඉන් පසුව බැසිල් රාජපක්ෂ අවධානය යොමු කළේ පුංචි ඡන්දය ගැන ය.
“ඡන්දෙ පවත්වන්නෙ කවදද ඒ කොහොමද කියන එක අපි හිතන්න අවශ්‍ය නෑ.. අපි ඡන්දය වෙනුවෙන් ගමට යන්න ඕන. අපි අපේ බේස් එක රැකගන්න ඕන”… බැසිල් ඒ සම්බන්ධයෙන් ඔහු තුළ වූ සැලැස්ම විස්තර කරමින් කීවේය.
“අපි මුලින්ම ගමෙන් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලා ගෙන් ගෙට යමු. ඊට පස්සේ ගම සංවිධානය කරමු. ඊට පස්සේ ප්‍රාදේශීය සභාවේ මැතිවරණ කොට්ඨාස ලෙස හැඳින්වෙන ප්‍රදේශය සංවිධානය කරමු. ආසන මට්ටමට ඒ වැඩේ ආවම අපි දිස්ත්‍රික්ක මට්ටමෙන් රැස්වීම් තියමු…”
බැසිල් රැස්වීම් පවත්වන ආකාරය විස්තර කළේය. මහා පරිමාණයේ රැස්වීම මුලින්ම මොනරාගලින් පටන් ගත යුතු බව ඔහුගේ අදහස විය. එහෙත් මීට පෙර මහින්දලාගේ ඡන්ද සටන් සෑමවිටම පටන් ගෙන තිබුණේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණය මුල් කරගෙනයි. මෙවර මොණරාගලින් පටන්ගෙන කුරුණෑගල, පොලොන්නරුව, කෑගල්ල හරහා අනුරාධපුරයට යන්නට බැසිල් සංවිධානය කර තිබූ මැතිවරණ සිතියමට කාගෙවත් විරෝධයක් මතු වූයේ නැත. මොණරාගල රැස්වීමේ කටයුතු ශෂීන්ද්‍රට භාර විය. මැයි දිනයට මෙන්ම මැතිවරණ කටයුතුවලට ද ජාතික මෙහෙයුම් කමිටුවක් නම් කෙරිණි. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ගාමිණී ලොකුගේ කමිටුවේ පත්කළ සාමාජිකයෝ වූහ.
සාකච්ඡාවෙන් අනතුරුව නිල නොවන සාකච්ඡා ඇරඹීය. මේ දිනවල ඩොලරයට සිදුවන නස්පැත්තිය බොහෝ දෙනකුගේ කතාබහට මාතෘකාව වූහ. ජවිපෙ ලණු කමින් ලංකාවට නොයවා පිටරටවල්වල ඩොලර් හංගා ගත් බොහෝ දෙනකුට රුපියල ශක්තිමත් වීමත් සමගම මුහුණ පාන්නට සිදුව ඇති හදිසි අකරතැබ්බය ගැන ද කතාබහක් ඇති විය.
“මහ ලොකුවට උන්ඩියල් කාරයෝ පස්සේ ගිය වුන්ට දැන් වැලේ වැල් නෑ..” අයෙක් එසේ කියනු ඇසිනි.
සජිත්ලාගේ වැඩ නිසා
සුසිල්ලාට සිදුවුණ දේ…!
අඟහරුවාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවති කාන්තා දින උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ඉන් පසුව කෙළින්ම ගියේ පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වන්නටය. මියගොස් සිටියේ මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ මෑණියන්ය. ඒ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහයේ අවසන් කටයුතු පැය විසි හතරක් යන්නට මත්තෙන් නිමා කිරීම මරණකරුගේ ඉල්ලීමක් විය. ජනාධිපතිවරයා ගේ නැන්දම්මා වුව මෙම මරණය සම්බන්ධයෙන් වැඩි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැත. දේහයේ අවසන් කටයුතු නාවල සුසාන භූමියක කරන්නට යොදාගෙන තිබිණි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ අවස්ථාවට පැමිණ ශෝකය පළ කර සිටියහ.
සජිත් මළ ගෙදරට පැමිණ සිටියේ හර්ෂණ රාජකරුණාද සමගය. සජිත් ජනාධිපති සමඟ කතාබහ කරමින් සිටින අතරතුර එතනට සුසිල් ප්‍රේමජයන්ත ආවේය…
“එන්න ටිකක් ප්‍රමාද වුණා ජනාධිපතිතුමනි… කොහෙද මේ ගොල්ලන්ගේ වැඩ හින්දා නිදහසේ අපිට පාර්ලිමේන්තුවෙන් එළියට බැහැලා යන්න වත් බෑ…” සුසිල් එසේ කීවේ පාර්ලිමේන්තුවේ පොල්දූව වටරවුම අසල ඒ වන විට පැවැත්වෙමින් තිබුණ කාන්තා උද්ඝෝෂණය ගැනය.”
“ඒකනෙ අපිට විපක්ෂය කියලා කියන්නේ… ආණ්ඩු පක්ෂයට ම අවශ්‍ය දේවල් කළා නම් විපක්ෂය කියන්නේ නෑනේ.. සජිත් තර්කයකින් යුතුව උත්තර දුන්නේ ය…
“ඔය කිව්වට මෙයාල කරන්නේ ජනතාවට පේන්න බොරුවට කෑගහන එක…” කියමින් ජනාධිපති රනිල් විහිළුවක් කළේ ය. සුසිල් ඇතුළු කිහිප දෙනෙක් වේලාසනින් පිටත්ව ගියත් සජිත් සැලකිය යුතු වේලාවක් ජනාධිපතිවරයා හා කතාබහ කරමින් එතන සිටියේය. ඒ අතර එතැනට වජිර, හර්ෂ ඇතුළු තවත් කීපදෙනෙක් පැමිණියාහ. වජිරත් හර්ෂත් එකට මුණ ගැසුණේ කලකට පසුය. පසුගියදා මුදල් කාරක සභාවේ සභාපති පදවිය සම්බන්ධයෙන් දෙදෙනා අතර වාද විවාද ඇති විය.
“මෙතුමා ඉතින් මට විරුද්ධයි නේ… මාත් එක්ක තරහයි…” හර්ෂ කීවේය.
“මොන තරහක් ද… මම පාර්ලිමේන්තුවේ කිව්වේ මුදල් කාරක සභාව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන ප්‍රතිපාදන ගැන…” වජිර කීවේය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක එතන සිටිනු දුටු සජිත් ඔහු දෙස බලමින් විහිළුවක් කළේ ය…
“මෙයා ඔබතුමාට හිතවත් වගේ පෙන්නුවට හදවතින් ඉන්නේ අපිත් එක්ක..” සජිත් කීවේ ය.
“රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනද, විපක්ෂයත් එක්කද ඉන්නේ… කියලා තීන්දු කරන්න ඕන” ඇඟට පතට නොදැනී එසේ කියන විට සජිත් කීවේ…” මම විහිළුවක් කළේ” කියාය.
ප්‍රේමනාත් පත්තු කළ
දේශපාලන බෝම්බය…
පසුගිය සතියේ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එක්තරා දේශපාලන බෝම්බයක් පත්තු කළේ ය. මැතිවරණයට මුදල් දෙන්නට බෑ කියමින් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා (මුදල් අමාත්‍යංශ ලේකම්) නිකුත් කළ චක්‍රලේඛය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරාජයට පත්විය. අමාත්‍යංශය චක්‍රලේඛය නැවත කැඳවමින් මහජනතාවගේ ඡන්ද අයිතිය සුරකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කරන්නට විය. මේ කාරණා පාර්ලිමේන්තුව ඇතුළේ උණුසුම් වාද විවාදවලට පසුගිය සතියේ ලොකුම හේතුව විය. දැන් ඡන්දයට කිසිදු බාධාවක් නැතැයි විපක්ෂයේ පක්ෂ ගණනාවක් කල්පනා කළහ.
මේ අතරතුර ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේ ය.
“මැතිවරණයට මුදල් වෙන් කරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව මැතිවරණයට මුදල් වෙන් කළ බව ඇත්ත. හැබැයි ඒ මුදල් ආණ්ඩුවට ලැබිලා නෑ. මැතිවරණයට වෙන් කරන්න වෙන්නේ වෙනත් දෙයකට යොදා ගන්න මුදලක්. මේ වෙලාවේ රජය ප්‍රමුඛතාව දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න මිස මැතිවරණවලට නෙවෙයි. ඒ වගේ වෙලාවක අධිකරණය මගින් මේ වගේ තීන්දුවක් දීමෙන් මුදල් බලය තීන්දු කරන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා…” ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාගේ තර්කය එබන්දක් විය.
පහුගිය අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඉතා ශූර ලෙස මේ අදහස කියාපෑවේය. ඔහුට විරුද්ධව විපක්ෂයේ විවිධ පාර්ශව චෝදනා නගන්නට වුවත් ඔහුගේ තර්කය මත යම් සාධනීය අදහසක් නැත්තේම නැතැයි කී ස්වාධීන මන්ත්‍රීවරු ද ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටියහ.
“ආණ්ඩුව මේ ඡන්දෙ පවත්වන්නෙ නෑ. ඇත්තටම ආණ්ඩුව මේ ඡන්දයට බය වෙන්න ඇති. කොහොමටත් මේ ඡන්දය නොපවත්වා ඉන්න ආණ්ඩුව දැන් හොඳ හේතුවකුත් හදාගෙන ඉන්නවා. හැබැයි ඒ හේතුව සාධාරණයි….” එක්තරා මන්ත්‍රීවරයකු මේ විස්තරය අප හමුවේ කීවේ තමන්ගේ නම හෙළිදරව් නොකරන්නැයි කියා ඉල්ලමිනි.
“අද පවතින මැතිවරණ ක්‍රමය යටතේ මේ මැතිවරණය පැවැත්වුවොත් පළාත් පාලන ක්ෂේත්‍රයට මන්ත්‍රීවරු අට දාහකට වැඩි ගණනක් එනවා. ඔවුන්ට අවම වැටුප වන රුපියල් 15,000 ගාණේ ලබාදුන්නත් මාසෙකට වියදම කෝටි 12 ට වැඩියි. ඇත්තම කියනවා නම් මේ ප්‍රමාණය රටට ඔරොත්තු දෙන්නෙ නෑ. පාලනයට මෙච්චර මන්ත්‍රීවරු අවශ්‍යත් නැහැ. කලින් පළාත් පාලන ආයතනවල හිටියේ මන්ත්‍රීවරු හාරදාහක් විතර ගාණක්. ඒක අටදාහ වුණේ එදා යහපාලන ආණ්ඩුව වෙලාවේ පළාත් පාලන පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්න මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ්ලගෙ සහ ජවිපයේ සහය ලබාගන්න එයාලගේ ඉල්ලීමකට එකඟ වුණා. ඒ ඉල්ලීම තමයි පළාත් පාලන ආයතනවල ලිස්ට් එකෙන් පත් කරන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම. ඔන්න ඔය කාරණාව හින්ද තමයි මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් වුණේ. මේ වෙලාවේ ආණ්ඩුව කරන්න යන්නේ මහින්ද දේශප්‍රිය මහත්තයාලගෙ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අරගෙන ඒක ගැසට් කරලා ඒ මුවාවෙන් ඡන්දය කල් දාලා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනත් අලුත් සීමා නිර්ණයට අනුව ඡන්දෙ තියන එක. ඒකට ටික කලක් ගතවෙයි. මම නං ඒකට කැමතියි.”
මෙයත් අර මේ සම්බන්ධයෙන් අනුර යාපා මන්ත්‍රීවරයා ද අදහසක් මතු කළේය.
“මේක මේ යහපාලන ආණ්ඩුවෙන් කරපු මඟුලක්නේ. එදා බලලෝභී විදිහට අලුත් යෝජනාව සම්මත කළාම අපේ පළාත් පාලන ආයතන සංයුතිය වෙනස් වුණා. මගේ ආසනේ පළාත් පාලන ආයතන හිටියේ කලින් මන්ත්‍රීවරු 15 දෙනයි. මොන පැත්තෙන් ආවත් හොඳ වැදගත් මිනිස්සු. යහපාලනය ගෙනාපු අලුත් ක්‍රමය අනුව මන්ත්‍රීවරු ගාණ 44ක් වුණා. දේශපාලනයට එන්න හොඳ නැති තක්කඩි, හොරු, මුදලාලිලා දේශපාලනයට ආවා… ඔය යෝජනාව පක්ෂය ඇතුළේ අපි කතා කරනකොට විරුද්ධ වුණේ මමයි මහින්ද මහත්තයයි විතරයි. ඒත් බැසිල්ල ඒකට කැමති වුණා.”
ඊටත් වඩා අපූරු අදහසක් රාජිත මතු කළේය.
“මම නං එදා යහපාලන ආණ්ඩුව වෙලාවේ ඕකට විරුද්ධ වුණා. රිෂාඩ්ලා හකීම්ලා ජේවිපී එක තමන්ගේ ගොඩ වැඩි කරගන්න ගෙනාපු අවස්ථාවාදී යෝජනාව නිසා තමයි මේ අවුල ඇති වුණේ. මැතිවරණය කල් යනවට මම කැමති නෑ. හැබැයි මහින්ද දේශප්‍රිය කියනව නම් මේ මාසයේ අන්තිමේ අලුත් සීමා නිර්ණය වාර්තාව ජනාධිපතිට දෙනවා කියලා ජනාධිපති ඒක ගැසට් කරලා ඒකට අනුව නම් පළාත් පාලන මැතිවරණය තියන්නේ මං හිතනවා ඒක හොඳයි. දූෂිතයො දේශපාලනයට එන එක නතර වෙයි. මහජන ඡන්දයෙන් එන හොඳ මිනිස්සු විතරක් ඉතුරු වෙයි.”
රාජිත එසේ කියමින් කතා බහ අවසන් කළේය.
කෙසේ වෙතත් ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා කළ වරප්‍රසාද යෝජනාවෙන් හා ඉන් පසුව සේරසිංහ මන්ත්‍රීවරයා යෝජනා කළ වරප්‍රසාද ප්‍රකාශයෙන් ඉතා වැදගත් කාරණාවක් පිළිබඳ ඉඟියක් පළ වෙමින් තිබිණ. ඒ වූ කලී රජය ඉතා ඉක්මනින් පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කරමින් සීමා නිර්ණය යෝජනාවලිය ගැසට් කර ඒ අනුව වැඩ කරන්නට යන බවයි. එසේ වන්නේ නම් රජයට ටික කලකට අවශ්‍ය යැයි කියන පළාත් පාලන ඡන්දය ද ඒ අනුව ටික කලකට කල් යනු නිසැකය.
Good Content