Sunday, December 22, 2024
spot_img
Homeසිංහලදේශපාලනනව රජයක් පිහිටුවන තුරු රජයේ වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීම අත්හිටුවන්න- හිටපු...

නව රජයක් පිහිටුවන තුරු රජයේ වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීම අත්හිටුවන්න- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටී.

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම මැයෙන් හිටපු ජනපතිවරයා කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට තිබේ. මම 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා සම්පූර්ණ වසර නවයකට වැඩි කාලයක් රට පාලනය කළ සමයේ, රජය සතු කිසිදු දේපළක් හෝ ව්‍යාපාරයක් විකිණුවේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කලින් ආණ්ඩු විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කිහිපයක් මගේ රජය විසින් නැවත රජයට පවරා ගැනීමය. එම ආයතන අදටත් ලාභ ලබමින් රජයේ අයිතිය යටතේ පවතී.

රාජ්‍ය දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් මගේ රජයට තිබුණේ ප්‍රයෝගිකවාදී ප්‍රවේශයකි. යම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් සහ එමගින් මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙනවා නම් එය පෞද්ගලීකරණය කිරීමට කිසිදු හේතුවක් අපි නොදුටුවෙමු. ඇතැම් අවස්ථාවලදී, සමස්ත ආර්ථිකයේ උන්නතිය සඳහා නැතිනම් අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා රජය සතු ආයතන විසින් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල පාලනය කිරීමට රජය උපායමාර්ගික තීරණ ගනු ලබයි. බලශක්ති ක්ෂේත්‍රය මෙයට හොඳ උදාහරණයකි. යම් නිශ්චිත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපාය මාර්ගික සහනාධාර නොදෙන රජයක් ලෝකයේ නැත.

මා ජනාධිපති ධුරයේ සිටි සමයේ, එවන් මිල පාලනයක් නිසා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබූව ද, අපේ ආර්ථික කළමනාකරණය තුළින් වසර නවයක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් රටේ ඇතිවිය. ඒ කාලයේ අපේ ණය ගෙවීමට හෝ අපි පවත්වාගෙන ගිය සහනාධාරවල වියදම් පියවීමට අපට කිසිදු අසීරුතාවයක් නොතිබුණු අතර, මා ජනාධිපතිව සිටියදී කිසිවකු රජයේ දේපළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් ගැන කතා කළේවත් නැත. ඇතැම් සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇතිවිය හැකි බැවින්, විශේෂයෙන්ම විදේශීය පාර්ශ්ව හවුල් වන අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියේදී යෝජනා වූ පරිදි , රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවිය යුත්තේ, උපරිම පාරිදෘශ්‍යභාවයකින් යුක්තව, ජාතික සැලැස්මකට අනුව, ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, සේවක පක්ෂයේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ය.

එසේ පවසන අතරතුරම, රාජ්‍ය අංශයේ ආයතනවල පෞද්ගලික අංශයේ සහභාගිත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති යම් නම්‍යශීලී ප්‍රවේශයක් ගත යුතු බව ද අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඇති ශබ්දකෝෂ නිර්වචනය අනුව යමින්, යම් රාජ්‍ය ආයතනයක හිමිකාර ව්‍යුහය තුළ හෝ පාලන ව්‍යුහය තුළ පුද්ගලික අංශයේ ඕනෑම මැදිහත්වීමක් පුද්ගලීකරණය කිරීමක් ලෙස නිර්වචනය කළ හැකිය. කෙසේ වෙතත්, රජය සතු ව්‍යාපාරයක් සඳහා විදේශීය හෝ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට ගන්නා සෑම උත්සාහයකටම වෘත්තීය සමිති විරුද්ධ නොවිය යුතුය. එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් අවශ්‍ය වේ.

ප්‍රයෝජනයට නොගත් රජයේ දේපළක් නැතිනම් නිරන්තරයෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් තිබේ නම්, එවැන්නක් ගොඩදැමීම සඳහා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් ලබා ගැනීම අර්ථවත් ක්‍රියාවකි. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකට නව අංගයක් එක්කිරීමට තවත් ආයෝජනයක් අවශ්‍ය නම් සහ එම වියදම දැරීමට රජයට නොහැකි නම්, අදාළ ආයෝජනය කිරීමට හැකියාවක් ඇති දේශීය හෝ විදේශීය ආයෝජකයකුට අදාළ ව්‍යාපාරයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් පවරා, අවශ්‍ය ආයෝජනය කරවා ගැනීම සාධනීය පියවරකි. යම් ආයෝජකයකු මුල සිටම නව ව්‍යාපාරයක් ගොඩනැඟීමට කැමති නම්, එම ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් යම් කොටසක් අදාළ ආයෝජකයාට පිරිනමා අලුත් රාජ්‍ය වත්කමක් බිහි කිරීමත් අර්ථවත් ක්‍රියාවකි.

මම වසර නවයකට වැඩි කාලයක් ජනාධිපති ධුරය දැරූ කාලයේ, ආර්ථිකය අඛණ්ඩව දියුණු වූ අතර, පෞද්ගලීකරණය ගැන සාකච්ඡාවක් වත් නොතිබුණු බව මම නැවතත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බව, පුද්ගලීකරණයට රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ, ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img